නාවික හමුදාව නිකවැරටිය සහ මහව ප්‍රදේශයන්හි විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිකවැරටිය සහ මහව යන ප්‍රදේශයන්හි මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 23 වන දින ක්‍රියාත්මක කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි. ඒ අනුව 2020 මාර්තු 23 වන දින වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩීකේපී දසනායකගේ මගපෙන්වීම යටතේ වයඹ නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් නිකවැරටිය සහ මහව යන ප්‍රදේශයන්හි ප්‍රධාන බස් නැවතුම්, රෝහල්, දුම්රිය ස්ථාන, පොලිස් ස්ථාන, සතොස සහ බැංකු ශාඛාවන් කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

තවද, ඉදිරියේදීද මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.