සතොස ගබඩාවන්හි අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා නාවික හමුදා සහය

අත්‍යවශ්‍ය භාණ්ඩ මහජනතාව අතර බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු වෙනුවෙන් අද (2020 මාර්තු 25) නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.

නව කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින ඇඳිරිනීති වාතාවරණය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව මහජනතාව අතර බෙදා හැරීම සඳහා රජය විසින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවති. එම භාණ්ඩ එක්රැස් කර බෙදාහරින එ‍‍ඩේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව අද (2020 මාර්තු 25) සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙම ක්‍රියාවලිය නිරීක්‍ෂණය කළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා එහිදී එම කටයුතු සඳහා සහය ලබාදෙන නාවික පිරිස් හට එම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදී ද රටේ පවතින අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය දායකත්වය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් සූදානමින් සිටී.