ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික පුද්ගලයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කල හැකි නවතම ක්‍රමයක් සොයා ගැනීමට සමත් වී ඇත. විෂබීජ හරණ කුටියක් ලෙස නිර්මාණය කර ඇති මෙම නිර්මාණය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇත. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත මෙම සොයා ගැනීම දැනට නාවික හමුදා කඳවුරු කිහිපයකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් එක් යන්ත්‍රයක් නාවික හමුදා මූලස්ථානයට ඇතුල්වන ප්‍රධාන දොරටුවෙහිද ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදි.

රටේ උද්ගතවී ඇති වර්ථමාන වාතාවරණය මත විශේෂ සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා නාවික හමුදා සමාජිකයින් කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණයකොට කඳවුරු පරිශ්‍රයන් වෙත ඇතුළු කිරීම මගින් සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් කඳවුර පරිශ්‍රයන් තුල පවත්වා ගැනීම නාවික හමුදාවේ නිරෝගිමත් මානව සම්පතක් පවත්වා ගැනීම සඳහා මහත් පිටුවහලක් ගෙන දෙයි.