නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මාර්තු 27 වන දින කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් 2020 මාර්තු 27 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් කල්පිටිය, එළුවන්කුළම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී සැක කටයුතු යතුරුපැදි දෙකක් (02) සහ කැබ් රථයක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂාවේදී කැබි රථය තුළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ ගවයින් පස් දෙනෙක් (05) සොයා ගැනීමට හැකි විය. එහිදී කැබි රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගත් අතර, මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී යතුරුපැදි කරුවන් දෙදෙනාද (02) මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවට තහවුරු වූ බැවින් ඔවුන්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සිව්දෙනා (04) පුත්තලම සහ එළුවන්කුළම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

ගවයින් පස්දෙනා (03) ඝාතනය කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිට ඇති බවට සැක පල කරන අතර, නාවික භාරයට ගන්නා ලද පුද්ගලයින් සිව්දෙනා (04), කැබ් රථය, යතුරුපැදි සහ ගවයින් ඉදිරි විමර්ෂණ සඳහා වනාතවිල්ලුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.