මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් සහ නොරොච්චෝලය පොලිසිය එක්ව 2020 මාර්තු 28 වන දින නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේ සිදු කරන ඒකාබද්ධ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනක් (02) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

මුහුදු මාර්ග ඔස්සේ රට තුළට ගෙනඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා මෙන්ම රට අභ්‍යන්තරයේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් ද නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් මෙහෙයුමක් 2020 මාර්තු 28 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ නොරොච්චෝලය, පොලිසිය එක්ව නොරොච්චෝලය, හජරවත්ත ප්‍රදේශයේදී සිදු කරන ලදි. එහිදී, රටතුළ පනවා ඇති ඇඳිරි නීති තත්වය ද නොසළකා එම ප්‍රදේශය තුළ සැක සහිත ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සූක්‍ෂම ලෙස සඟවා සිටි හෙරෝයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 370 ක්, අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 370 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 120 ක් සොයාගැනීමට සමත් විය. ඒ අනුව අදාල සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔවුන් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි බවට වැඩිදුරටත් අනාවරණය කරගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 20 සහ 29 යන වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු කරගන්නා ලද අතර, සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නොරොච්චෝලය පොලිසිය විසින් සිදුකරනු ලබයි.