නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන රැසක විෂබීජහරණ කටයුතු සිදු කරයි.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 29 වන දින පුත්තලම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා සහය දක්වමින් සිටින නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින පුත්තලම වනජීවී කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලය, සහ කඩුමයාන්කුලම් ග්‍රාමය විෂබීජහරණය කිරීම සිදු කරන ලදි. ඒ අනුව, පුත්තලම පොලිසිය මගින් සිදු කල ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය මගින් මෙම විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

මෙහිදී එම ස්ථානයන්හි සියළුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කරන ලද අතර, වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට රජය ගෙනයනු ලබන වැඩසටහන් සඳහා තම උපරිම දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.