කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය හා එක්ව 2020 මාර්තු 30 වන දින මන්නාරම, පේසාලේ, කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්වය මත එය මැඩ පැවැත්වීම සඳහා තම උපරිම දායකත්වය ලබා දෙන නාවික හමුදාව මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දියත් කරනු ලබන මෙහෙයුම්ද අඛණ්ඩව සිදු කරමින් පවතී. ඒ අනුව 2020 මාර්තු 30 වන දින නාවික හමුදාව සහ මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය එක්ව මන්නාරම, පේසාලේ, කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත යතුරුපැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. මෙම මත්ද්‍රව්‍ය විකිණීම සඳහා මෙසේ රැගෙන යමින් සිට ඇති අතර, එහිදී අදාල පුද්ගලයින් දෙදෙනා, යතුරුපැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 සහ 23 යන වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට අනාවරණය කර ගන්නා ලද අතර, අදාල පුද්ගලයින් දෙදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පේසාලේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි. තවද, රටතුල ඇතිවී තිබෙන ව්‍යසනකාරී වාතාවරණය හමුවේ වුවද මෙවැනි ජාවාරම් කටයුතු සිදු කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටී.