නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට නාවික හමුදාවේ සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින යාපනය, නයනතිවු දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනගොස් ලබා දීමටද කටයුතු සළසා දෙමින් සිටි. ඒ අනුව සතොස වෙළඳසැල් මගින් නයනතිව් දූපත් වාසි ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් 2020 මාර්තු 31වන දින ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් මුහුදු ගමන් පහසුකම් ලබා දෙමින් තම සහය ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, ඇඳිරි නීති වතාවරණය හමුවේ තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු ජනතාව වෙනුවෙන් සිදු කරන මෙවැනි සමාජ සුභසාධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව ඉදිරියටත් කටයුතු කරනු ලබයි.