කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 31 වන දින පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

රටතුල ඇතිවී තිබෙන ව්‍යසනකාරී වාතාවරණය මැඩලීම සඳහා තම සෘජු දායකත්වය ඒ සඳහා ලබා දෙමින් සිටින නාවික හමුදාව රට තුල සිදුවන නීතී විරෝධී ක්‍රියාවන් මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව 2020 මාර්තු 31 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පොඩුවකට්ටු වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයා සතුව තිබී කුඩා පාර්සල් 38ක අසුරා තිබූ කේරළ ගංජා ග්‍රෑම් 43ක ප්‍රමාණයක් සහ වෝටර් ජෙල් කූරු තුනක් (03), සේවා නූල්, විද්‍යුත් නොවන ඩෙටනේටර් තුනක් (03), සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම පුද්ගලයා, කේරළ ගංජා ප්‍රමාණය හා පුපුරණ ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 18ක් වන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු, කේරළ ගංජා ප්‍රමාණය සහ පුපුරණ ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්දයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සදහා කුච්චවේලි පොලිසිය වෙත භාර දීමටකටයුතු කරන ලදී.