මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත විනාශ වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී සැක සහිත යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා (02) සතුව තිබී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා ජෙලිග්නයිට් යොදා සකස් කරන ලද චාජර් හතරක් (04) සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයින් දෙදෙනා, පුපුරණ දුව්‍ය, සහ යතුරු පැදිය (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 18 සහ 37 යන වයස්වල පසුවන කුච්චවේලි, වඩලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, පුපුරණ දුව්‍ය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදරිවිමර්ශණ කටයුතු සිදු කිරීම සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.