නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 01 වන දින සිට 02 වන දින දක්වා පුත්තලම මූලික රෝහල, රූපවාහිනි සංස්ථාව, නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේ මහජන බැංකු පරිශ්‍රයන් සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් එම ආයතනවල සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.