ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා නාවික හමුදා සහාය.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සදහා ගමනා ගමන පහසුකම් ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා නාවික හමුදාව 2020 අප්‍රේල් 02 සහ 03 යන දිනයන්හිදී තම සහයෝගය ලබා දෙන ලදි.

කොරෝනා වෛරසය රටතුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රජය විසින් පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ තම දෛනික අවශ්‍යතාවයන් සිදු කර ගැනීමට නොහැකිව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදාව මේ වන විට බෝහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව 2020 අප්‍රේල් 02 සහ 03 යන දිනයන්හිදී බටහිර සහ දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් උතුරු කොළඹ සහ ගාල්ල ප්‍රදේශයේ නිවෙස්වල හා වැඩිහිටි නිවාස වල සිට තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට නගරය වෙත යාමට ගමනා ගමන පහසුකම් ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසක් හට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන තම විශ්‍රාම වැටුප ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැසකට මහත් පිටුවහලක් වූ අතර, ඉදිරි දින කිහිපයේද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.