ගවමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ ඇදිරි නීතිය කඩ කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 03) ආරුගම්බේ ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයක් අතරතුර අවස්ථා තුනකදී (03) ගවමස් කිලෝග්‍රෑම් 34 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඇඳරිනීතිය කඩකරමින් යතුරු පැදියකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය පාලනය කිරීම සඳහා දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක නීති විරෝධී ක්‍රියාවන් සිදුකරන සහ ඇඳිරිනීතිය කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මුර සංචාරයන් දියත් කරමින් සිටී. ඒ අනුව, ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අද (2020 අප්‍රේල් 03) ආරුගම්බේ ප්‍රදේශයේ සිදු කළ පාමුර සංචාරයක් අතර තුරදී ඇඳිරි නීති තත්වය ක්‍රියාත්මක වන කාලයේ දී මාර්ගයේ ගමන්ගත් සැක සහිත ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් නිරීක්‍ෂණය කරන ලදි. පසුව එම ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ත්‍රීරෝද රථයේ තිබී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝග්‍රෑම් 27 ක් ද යතුරු පැදියේ තිබී ගවමස් කිලෝග්‍රෑම් 07ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ත්‍රීරෝද රථයේ සහ යතුරු පැදියේ ගමන්ගත් සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

තවද. මෙහිදී ඇදිරිනීති තත්වය නොසලකමින් මාර්ගයේ ධාවනය කරන ලද යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක්ද (02) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සියළුම සැකකරුවන් වයස අවුරුදු 24 සහ 30 වන වියෙහි පසුවන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, එම සැකකරුවන්, ගවමස් තොගය, ත්‍රීරෝද රථය සහ යතුරුපැදි දෙක (02) ඉදිරි විමර්ශණ සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.