බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල දෙවන කණ්ඩායමද පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම අද (2020 අප්‍රේල් 03) පිටත්ව යන ලදි.

ඒ අනුව, බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන (02) කණ්ඩායම වශයෙන් ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු (06) අද (2020 අප්‍රේල් 03) ඉන් පිටත්ව යන ලදි. නිරෝධායන කටයුතු අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙම මධ්‍යස්ථානය තුළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 66 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී. තවද, නාවික හමුදාව විසින් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ම ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති අතර, වෛරසය රටතුල ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන ස්ථානයන්හි විෂබීජහරණ කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී.