නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක්.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 04) කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ‘මිතුරු මිතුරෝ සෙවන’ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවූවන් සඳහා වියලි ආහාර සළාක ලබා දීම සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ‘මිතුරු මිතුරෝ සෙවන’ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් විශෝධනය වෙමින් සිටින රැදවියන් 338 දෙනෙකු වෙනුවෙන් දින 10ක් සඳහා අවශ්‍ය වියලි සළාකයන් ලබා දීම අද (2020 අප්‍රේල් 04) නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා ‍සිවිල් සංවිධාන 02 ක සහ පුද්ගලයින් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වය හිමි වූ අතර, නාවික හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටින ලදි.

නාවික හමුදාව රට තුල ඇතිවන ඕනෑම ව්‍යසනකාරී තත්වයකදී තම වගකීම නිසියාකාරව ඉටුකරමින් සිටින අතර, ඉදිරියේදීද මෙවැනි සමාජ සත්කාරයන් සිදුකිරීමට කටයුතු කරනු ලබයි.