ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 03 වන දින යාපනය, ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය කිරීම සඳහා රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනගොස් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර,. ඒ අනුව සතොස වෙළඳසැල් මගින් ඩෙල්ෆ් දූපත්වාසි ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නාවික හමුදා යාත්‍රා මගින් එම දූපත වෙත ගෙනගොස් එහි ජනතාව වෙත බෙදා හැරීමේ වැඩස‍ටහනක් 2020 අප්‍රේල් 03 වන දින ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් මුහුදු ගමන් පහසුකම් සැපයීම සහ දූපත තුල එම භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා තම සහය ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, ඇඳිරි නීති වතාවරණය හමුවේ තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු යාපනය ප්‍රදේශයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සඳහා ඉදිරියටත් තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.