කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව, යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් යුද්ධ හමුදාව සහ පොලිසිය සමග මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද මාර්ග බාධකයේදී සැක සහිත යතුරු පැදියක් නිරීක්‍ෂණය කර, පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා (02) සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 51.94 ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එහිදි සැකකරුවන් දෙදෙනා (02) , අදාල කේරළ ගංජා සහ යතුරු පැදිය (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් වයස අවුරුදු 40 සහ 43 වන වියෙහි පසුවන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), ඔවුන් සතුව තිබූ කේරළ ගංජා සහ යතුරු පැදිය (01) ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.