හෙරෝයින් ලග තබා ගත් පුද්ගලයෙක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 09 වන දින සිලාවතුර, මල්වතුඔය පාලම ආසන්න ප්‍රදේශයේදී හෙරෝයින් ලගතබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රට තුල සිදුවන නීතී විරෝධී මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සිලාවතුර පොලිසිය සමග එක්ව 2020 අප්‍රේල් 09 වන දින සිලාවතුර, මල්වතුඔය පාලම ආසන්න ප්‍රදේශයේ මෙහෙයුමක් සිදු කරන ලදි. එහිදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැක සහිත පුද්ගලයෙකු (01) නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ හෙරෝයින් ග්‍රෑම් 2.55 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම සැකකරු, අදාල හෙරෝයින් ප්‍රමාණය සහ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරු වයස අවුරුදු 26 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කරගත් අතර, අදාල සැකකරු, ඔහු සතුව තිබූ හෙරෝයින් සහ යතුරු පැදිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිලාවතුර පොලිසිය විසින් සිදු කරනු ලබයි.