හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ හැඳල ප්‍රදේශයේ නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත සිදු කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2020 අප්‍රේල් 09 වන දින හේනමුල්ල රන්දිය උයන නිවාස සංකීර්ණය සහ හැඳල ප්‍රදේශයේ නිවාස කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, මේ සඳහා රංගන ශිල්පීන්ගේ දායකත්වයද ලබා ගනිමින් එම ප්‍රදේශයන්හි වැසියන් හට ඉහල රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳව තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කළ අතර, ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.