ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහන් දෙකක් (02) 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන් කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මග පෙන්වීම මත නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 වන දින සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම සංගීත වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම නිවාස සංකීර්ණය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ජනසෙවන යන නිවාස සංකීර්ණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි. මේ සඳහා ගායක ශිල්පීන්ගේ දායකත්වයද ලබා ගනිමින් එම ප්‍රදේශයන්හි වැසියන් හට ඉහල රසාස්වාදයක් ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙහිදී වෛරසයෙන් වැලකී සිටීම සඳහා පිළිපැදිය යුතු වෛද්‍ය උපදෙස් පිළිබඳවද තවදුරටත් එම ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදි.