නාවික හමුදාවේ දෙවැනි මෙඩි මේට් (Medi mate) යන්ත්‍රය කළුබොවිල රෝහලට.

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medi mate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවීමට කටයුතු කරන ලදි. එසේ නිපදවන ලද (Medi mate) නම් ස්වයංක්‍රීය උපකරණයක් පසුගිය දිනෙක නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කල අතර. අද (2020 අප්‍රේල් 12) දිනයේද තවත් එවැනිම (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබාදීම අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (දියත් හා අවි) සහ (පරිපාලන හා උපයෝගීතා) කොමදෝරු (විදුලි) කමල් බෝබුගලගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

විශේෂයෙන් මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ කථා කිරීමටත්, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබා දීමටත්, ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත්, හැකියාව ඇත. ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය කාර්යමණ්ඩල සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙමගින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.