ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගැනේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි .

ඒ අනුව, නාවික හමුදා භාරයට ගෙන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද එම පුද්ගලයින් 28 දෙනාගෙන් 06 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කරගෙන ඇත. ඒ හේතුවෙන් එම 06 දෙනා ඇතුළු අනෙකුත් පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පවත් වන ලද තවත් පුද්ගලයින් සොයා 2020 අප්‍රේල් 11 වන දින නාවික හමුදා බුද්ධි අංශය සහ ජා-ඇල පොලිසිය එක්ව ජා-ඇල සහ මාකේවිට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්ගෙන් 42 ක් පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් 10 ක් සිටී. මෙම පිරිසට කුඩා පිරිමි දරුවන් 03 දෙනෙක් හා කුඩා ගැහැණු දරුවන් 03 දෙනෙක්ද අයත් වේ.

පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ වලින් පසු ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි.