වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 අප්‍රේල් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදී.

එහිදී, උතුරු නාවික විධාන මූලස්ථානය වෙත නිළ සංචාරයක් සඳහා පැමිණි වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නාවික සම්ප්‍රදානුකූලව උතුරු නාවික විධානය වෙත පිළිගන්නා ලදි. මෙහිදී ඔහු සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අතර, දැනට රටතුල පවතින කොවිඩ් 19 වසංගතය උතුරු පළාතට බලපා ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදි. තවද මෙහිදී උතුරු නාවික විධාන‍ මෙහෙයුම් නිලධාරී විසින් කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා උතුරු නාවික විධානය තුල ඇති සූදානම හා මෙම වසංගත තත්වය හේතුවෙන් රට තුලට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාධිපති දැනුවත් කිරීම සිදු කරන ලදි.

මෙහිදී වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් රට තුලට මුහුදු මාර්ගයෙන් ඇතුළු වන මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ගනු ලබන උත්සාහය ප්‍රශංසාත්මකව අගය කරන ලදි. තවද, මෙම සංචාරයේදී වැඩ බලන මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාධිපතිවරයා ඇතුළු පැමිණ සිටි පිරිස දැනට කන්කසන්තුරය වරාය තුල අළුතින් ඉදිකෙරෙමින් පවතින ජැටිය නිරීක්‍ෂණය කිරීම සඳහාද එක් වූ අතර එම අවස්ථාවට උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්විය.