වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 12 වන දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක මුර සංචාරයන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදා නැගෙනහිර නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මගින් 2020 අප්‍රේල් 12 වන දින ත්‍රිකුණාමලය, එළිසෙබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා හයක් (06), කිමිදුම් උපකරණ කිහිපයක් මසුන් කිලෝ 376 ක්, මුහුදු කූඩැල්ලන් 124 ක් සහ එම ධීවර යාත්‍රා තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 55 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ, මසුන්, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදි.