පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මේ දින වල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගන්නා ලදි. ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස අද (2020 අප්‍රේල් 13) මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂා කිරීමේදී එම යාත්‍රාව තුල ගෝනි මලු පහක (05) සඟවා තිබූ ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්විය. එහිදී එම ගංජා තොගය, යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම සැකකරුවන් වයස අවුරුදු 22, 26 සහ 37 යන වයස්වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම ගංජා තොගය විදේශීය යාත්‍රාවක් හරහා මෙම සැකකරුවන් පැමිණි යාත්‍රාව වෙත මුහුදේදී හුවමාරු කරගෙන ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ නාවික හමුදාව සහ පොලිසිය මගින් සිදු කෙරෙනු ලබයි.