නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 12 වන දින තංගල්ල සිට බෙලිඅත්ත දක්වා සිදු කල මුර සංචාරයකදී සහ ගිංතොට ප්‍රදේශයේ මාර්ග බාධකයකදී නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් 2020 අප්‍රේල් 12 වන දින තංගල්ල සිට බෙලිඅත්ත දක්වා සිදු කල මුර සංචාරයකදී මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක දේශීය මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එසේම තවත් නාවික පුද්ගලයින් පිරිසික් විසින් ගිංතොට මාර්ග බාධකයේදී යතුරු පැදියක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී දේශීය මත්පැන් බෝතල් තුනක් (03) සොයා ගැනීමට සමත් වූ අතර, යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා සමග එම දේශීය මත්පැන් බෝතල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් බෙලිඅත්ත සහ මෝදරවාන යන ප්‍රදේශවල බවට හදුනාගත් අතර, අදාල සැකකරුවන් , දේශීය මත්පැන් සහ යතුරු පැදිය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ගාල්ල සහ බෙලිඅත්ත යන පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලදි.