බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව සැමරීම.

නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම 2020 අප්‍රේල් 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

රටේ සමස්ථ ජනතාව වෙනුවෙන්ම තම පවුල්වල ඥාතීන්ගෙන් දුරස්ව දැඩි කැපවීමක් සිදු කරමින් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී සිටින ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වන පිරිස ‍වෙත නව අළුත් අවුරුදු උදාව සැමරීම සඳහා කිරි ඉතිරිවීම සහ නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම 2020 අප්‍රේල් 13 වන දින සිදු කරන ලදි. එම මධ්‍යස්ථානය තුලදීම සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති තුමන් ඇතුළු පිරිසක් එම මධ්‍යස්ථානය භාරව කටයුතු කරන නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික පුද්ගලයින් ඇතුළු අනෙක් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලද අතර, මෙහිදී එම මධ්‍යස්ථානය තුල නේවාසිකව නිරෝධායනය වන්නන් විසින් නාවික හමුදාව සිදුකල මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ගේ හෘදයාංගම ප්‍රශංසාව සැල කර සිටින ලදි.

තවද, මේ වන විට පුද්ගලයින් 57 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් සිටින මෙම මධ්‍යස්ථානය තුල, තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සඳහා ලබාදිය හැකි උපරිම සේවය ලබා දෙමින් ඔවුන්ගේ සියළු අවශ්‍ය තාවයන් නොපිරිහෙලා ඉටු කරමින් සාර්ථක නිරෝදායන ක්‍රියාවලියකට ලක්කිරීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානයෙන් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.