පානම ප්‍රදේශයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනයට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 14 වන දින පානම ප්‍රදේශයේ ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය කිරීම සඳහා රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙනගොස් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව පොතුවිල් විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පානම ප්‍රදේශයේ ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමේ වැඩස‍ටහනක් 2020 අප්‍රේල් 14 වන දින ක්‍රියාත්මක කරන ලදි. ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් වීජේසූරියගේ අධීක්‍ෂණය යටතේ එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ප්‍රවාහන පහසුකම් සැපයීම සහ ජනතාව වෙත භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සඳහා තම සහය ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, ඇඳිරි නීති වතාවරණය හමුවේ තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු සඳහා ඉදිරියටත් තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.