නාවික හමුදාව ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන එයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 15) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.

පසුගිය මාර්තු මස 28 වන දින නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවෙහි සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු, ඒ හරහා ලබා ගත් අත්දැකීම් සහ දේශිය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමේදී තවත් මත් ද්‍රව්‍ය රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බවත් එයින් යම් මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාවට පැමිණීමට නියමිත බවත් අනාවරණය විය. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව 2020 මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සමුදුර නෞකාව දින 14 ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අදාල මුහුදු ප්‍රදේශයේ ආවේක්‍ෂණ කටයුතු වල නිරත වෙමින් සිටියදී මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNODC) ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප කිහිපයක් තවදුරටත් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සමුදුර නෞකාව සමකය දෙසට යොමු කිරීමට කටයුතු කරන ලදි. එහිදී 2020 අප්‍රේල් මස 10 වන දින රාජ්‍ය ධජයක් ප්‍රදර්ශනය කර නොමැති (Flag Stateless) සැක සහිත විදේශීය යාත්‍රාවක් සොයා ගන්නා ලදී. පසුව එම යාත්‍රාව පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ රුපියල් කෝටි 327කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 281 ක් සහ අයිස් (Crystal Methamphetamine) නැමති මත්ද්‍රව්‍ය කිලෝ 48 ක තොගයක් සොයා ගැනීමට සමත් විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සහ යාත්‍රාව අද (2020 අප්‍රේල් 15) දින දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කල අතර, මෙම අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටින ලදි. මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව හා එහි සිටි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතව ඇත.

මේ අනුව, මෙතෙක් ඉතිහාසයේ වාර්තාගත වැඩිම මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මෙම වර්ෂයේදී සිදු කිරීමට නාවික හමුදාව සමත් වී ඇති අතර, 2020 වසරේ ගතවූ මාස 03 දින 10 ක කාලය තුල හෙරොයින් කි.ග්‍රෑ 718 කුත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 797 කුත් කැටමින් නැමැති නව මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 581 කුත් ගංජා නැමැති මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ 2475 කුත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ථ වීථි වටිනාකම රුපියල් බිලියන 21ට ආසන්න වෙතැයි ගණන් ලබා ඇත.

ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය හා ජාත්‍යන්තර බුද්ධි තොරතුරු මෙන්ම චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ හා දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.විශේෂයෙන් දේශීය ධීවර ප්‍රජාව මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසු නොවී තම කර්මාන්තය සිදු කළ යුතු බව නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදි.