හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙ‍ක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 14 වන දින වෙන්නප්පුව ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 4.8 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව රටේ ආරක්‍ෂාව සහ රට තුල සිදුවන නීතී විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතුද අඛණ්ඩව සිදු කරමින් සිටී. ඒ අනුව‍, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් එක්ව 2020 අප්‍රේල් 14 වන දින වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරු පැදියකින් ගමන් ගත් සැක කටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර පරික්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ හෙරෝයින් ග්‍රෑම් 2.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. එහිදී එම සැකකරුගෙන් ලද තොරතුරකට අනුව තවත් සැකකරුවෙකු ද ඔහුගේ නිවස අසලදී හෙරෝයීන් ග්‍රෑම් 2.3 ක ප්‍රමාණයක් සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 40 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට වැඩිදුර තහවුරු කරගත් අතර, යතුරු පැදිය, හොරොයින් සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.