නාගලන්ගම සහ වේල්ලවීදියේ තවත් පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කොරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් අද (2020 අප්‍රේල් 15) ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලද අතර, එහිදී එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගන්නා ලදි.

මෙම පිරිසේ සිටි ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත් වන ලද කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙකු මේ අනුව අද (2020 අප්‍රේල් 15) නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි. මෙම පිරිසට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 93ක් ඇතුලත් වන අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකින් පසු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.