කේරළ ගංජා කිලෝග්‍රෑම් 120ක පමණ තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරමට දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී කිලෝග්‍රෑම් 120ක පමණ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි නාවික හමුදාවට අයත් මිහිකත නෞකාව මගින් වේගයෙන් ගමන් කරනු ලබන සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එම යාත්‍රාව ලුහුබැඳ ගොස් ඇති අතර, නාවික හමුදා අණ නොතකා යාත්‍රා කල එම ඩිංගි යාත්‍රාව වෙතින් පාර්සල් කිහිපයක් මුහුදට දමන ආකාරය නිරීක්‍ෂණය කර ඇත. පසුව එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රීලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්‍ෂා නෞකාවේ සහයද ඇතිව අදාල පාර්සල් හා යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. පසුව පරීක්‍ෂා කිරීමේදී පාර්සල් 05ක් තුල අසුරා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 120ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

එහිදී එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් තිදෙනෙක් (03), එම ඩිංගි යාත්‍රාව පිටත දහන යන්ත්‍රයක්, ජීපීඑස් යන්ත්‍රයක් සහ එම යාත්‍රාවේ තිබූ තවත් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. මෙම පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කරන ලදි.