නාවික හමුදාව විසින් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය තුළ එම රෝගීන් සඳහා වඩාත් ආරක්‍ෂිතව සහ ඵලදායී ලෙස ප්‍රතිකාර ලබා දීම සඳහා නාවික හමුදාව විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් සිදු කරන ලද අළුත්වැඩියාවන් සහ උපකරණ කොරෝනා ආසාධිත ගර්භනී මව්වරුන් හට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් ලෙස රජය මගින් නවීකරණය කර ඇති නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 අප්‍රේල් 15 වන දින සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රටතුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, මෙම වෛරසය ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙමින් සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තම ජීවිත අවධානමද නොතකා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයන් සඳහාද අවශ්‍ය පහසුකම් ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ වන විට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම වැඩසටහන් මාලාව යටතේ නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් නාවික හමුදා දායකත්වයෙන් නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව රෝගීන් ඇතුලත් කිරීම සහ බාහිර නියැදි පරීක්‍ෂාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම, සමාජ දුරස්ථ භාවය රැක ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කැමරා පද්ධතියක් සවි කිරීම, රෝගීන් සමග සන්නිවේදනය කිරීම සහ වෛද්‍යාධාර ලබා දීම සඳහා මෙඩි මේඩ් (Medimate) ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලබා දීම, රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා විෂබීජහරණ කුටියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කිරීම, වෛරසය ආසාධිත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමට භාවිතා කරනු ලබන උපකරණ සහ ඇදුම් විෂබීජහරණය කිරීම සඳහා අධිතාප කුටීරයක් ඉදිකීරිම, රෝගීන් ගමන්කරනු ලබන මාර්ගයන් ජීවානුහරණය කිරීම සඳහා අධෝරක්ත කිරණ පද්ධතියක් රෝහල් පරිශ්‍රයේ ස්ථාන දෙකක ස්ථාපිත කිරීම සහ රෝහලෙහි විදුලි සෝපානයන් සඳහා අරක්‍ෂිත ක්‍රමවේදයක් සහිත ඉලෙක්ට්‍රෝනික නියාමන පද්ධතියක් සකස් කිරීම යන අළුත්වැඩියාවන් සහ උපකරණ ලබා දීම සිදු කරන ලදි.

මේ අනුව සිදු කරන ලද බොහෝමයක් අළුත්වැඩියාවන් සහ උපකරණ රෝහලෙහි දැනට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවද එය නිල වශයෙන් රෝහල වෙත ලබා දීම 2020 අප්‍රේල් 15 වන දින ගරු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ හා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිණී පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නාවික හමුදාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි අධ්‍යක්‍ෂ ඇතුළු රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිණිය කොරෝනා වෛරසය රට තුල පැතිරී යාම පාලනය සඳහා නාවික හමුදාව විසින් ලබා දෙනු ලබන දායකත්වය අගය කරමින් සිය ගෞරවය පුද කර සිටි අතර, නාවික හමුදාව සිදු කරනු ලබන මෙම සමාජ සත්කාරයන් එම අවස්ථාවට පැමිණ සිටි සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ගේ ඇගයීමට ද ලක්විය.

එසේම, රජය විසින් මෙම වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටින අතර, ඒ වෙනුවෙන් සිදු කළ යුතු සෑම කටයුත්තක්ම සිදු කිරීමට නිරන්තරව සූදානමින් සිටී.