නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 16 වන දින කොකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් කොකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදි ඩිංගි යාත්‍රාවක් (01) සහ තහනම් දැලක් (01), පිටත දහන යන්ත්‍රයක් (01) සහ තවත් ධීවර උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින් අවුරුදු 25 ත් 38 ත් අතර වයසේ පසුවන කොකිලායි සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි