නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 17 කල්මුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කල පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

කොරෝනා ව්‍යසනය රට තුළ පාලනය සඳහා රජය විසින් ඇඳිරි නීති තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක රට තුල සිදුවන සූක්‍ෂම මත්ද්‍රව්‍ය වෙළඳාම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව 2020 අප්‍රේල් 17 වන දින ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ කල්මුණේ පොලිසිය එක්ව කල්මුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී තලවට්ටන් මංසන්දියේදී නිති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු සමඟ මත්පැන් බෝතල් 76ක පමණ ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු වයස අවුරුදු 35 ක් වන අන්පූවලිපුරම්, පණ්ඩිරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරු සහ මත්පැන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු කල්මුණේ පොලිසීය විසින් සිදු කරනු ලබයි.