අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට.

2020 අප්‍රේල් 18 වන දින මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ නාවික හමුදාව ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමඟ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රේල් මස 18 වන දින මැදවච්චිය, පූනෑව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී අදාල ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ අත්‍යාවශ්‍ය ආහාර විෂයන් සමඟ සෞඛ්‍යාරක්‍ෂිත නොවන ලෙස නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය. එහිදී අදාල ලොරි රථය සහ එහි ප්‍රවාහනය කල සහල්, මිරිස් කුඩු හා තේ කොළ තොගයක් සමඟ අදාල කෘෂි රසායන ද්‍රව්‍ය එක් අසුරනයක බෝතල් 24 බැගින් වූ අසුරන 160ක ප්‍රමාණයක් සහ ලොරි රථයේ ගමන් කල පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් අවුරුදු 31 සහ 37 වන වයසේ පසුවන කිලිනොච්චිය සහ වවුනියාව යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අදාල ලොරි රථය සහ එහි ප්‍රවාහනය කල අත්‍යාවශ්‍ය ආහාර සහ කෘෂි රසායන ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මැදවච්චිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.