ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටි පුද්ගලයින් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සිදු කල පරීක්‍ෂණ මගින් සොයා ගැනීමට හැකි වීමත් සමග ඔවුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2020 අප්‍රේල් මස 18 වන දින කටයුතු කරන ලදි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන විධිමත් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීම සඳහා ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. පසුව නිරෝධායන මධ්‍යස්ථානය තුලදී එම පිරිස 2020 අප්‍රේල් 17 වන දින පීසීආර් පරීක්‍ෂණයකට යොමු කිරීමට කටයුතු කරන ලද අතර, එහිදී අදාල පිරිසෙන් තිදෙනෙකුට (03) කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කර ගැනීමට හැකිවිය.

ඒ අනුව, වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු කර ගත් ආසාධිතයින් තිදෙනා (03) 2020 අප්‍රේල් 18 වන දින ඉරණවිල කොවිඩ් 19 රෝගීන් සඳහා ස්ථාපිත කර ඇති ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත නාවික හමුදා ආරක්‍ෂාව යටතේ ගිලන් රථයක් මගින් රැගෙන යාමට කටයුතු කරන ලදි.