ගංජා සමඟ කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 අප්‍රේල් 18 වන දින තංගල්ල ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ගංජා සමඟ කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින අතර, ඒ සඳහා නිරන්තර මුර සංචාර දියත් කරමින් සාගර කළාපයේ මෙන්ම රට අභ්‍යන්තරයේද සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට කටයුතු කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක තවත් එක් මුර සංචාරයක් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 අප්‍රේල් 18 වන දින තංගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි. එහිදී දංකැටිය, ධම්මරත්න මාවත ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් සැක සහිත පුද්ගලයින් දෙදෙනෙක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන් සතුව තිබී ගංජා ග්‍රෑම් 48ක පමණ ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු මත එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන කාන්තාවක්ද නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් මෙම කාත්තාව වයස අවුරුදු 33ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් බවත්, අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) තංගල්ල, මාරකොල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් හදුනාගෙන ඇති අතර, අදාල කාන්තාව සහ පුද්ගලයින් දෙදෙදෙනා (02) සහ ඔවුන් සතුව තිබූ ගංජා ඉදිරි විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.