නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 19 වන දින සහ 20 යන දිනයන්හීදී රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල මෙන්ම මහව සහ ගාල්ල යන දුම්රිය ස්ථානයන්ද කේන්ද්‍ර කර ගනිමින් ‍ පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදී රාගම රෝහල වෙතින් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සඳහා මෙන්ම ඇඳිරි නීති තත්වය තාවකාලිකව ඉවත් කර ඇති මහව සහ ගාල්ල ප්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය සේවා රාජකාරි සඳහා දුම්රිය මගින් ගමන් පහසුකම් ලබා ගන්නා පුද්ගලයින්ගේ ආරක්‍ෂාව සඳහා දුම්රිය ස්ථානයන්හි මෙන්ම දුම්රිය මැදිරි තුලද සියළුම ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.