නාවික හමුදා සහයෙන් දේශිය ගංජා කිලෝ 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අප්‍රේල් 23 වන දින තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශයන්හි සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගන්නා ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව තණමල්විල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 අප්‍රේල් 23 වන දින සිදු කරන ලදි. එහිදී උස්සැල්ල ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී දේශීය ගංජා කිලෝ 07කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව කුඩාවැව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 42ට අධික ප්‍රමාණයක් සමඟ තවත් පුද්ගලයෙකු සොයා ගැනීමට සමත් වී ඇති අතර, මෙහිදී අදාල පුද්ගලයින් දෙදෙනා සහ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් කුඩා ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ දේශිය ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොස්ලන්ද පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.