නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 25 වන දින මුලන්කාවිල් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරුමැද නාවික විධානයේ අම්බුපුරම්, මුලන්කාවිල් ප්‍රදේශයේ වෙරළ ආරක්‍ෂක මුර කුටියක රාජකාරි නිරතව සිටි නාවිකයින් පිරිසක් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) සමඟ මීටර 500ක පමණ දිගින් යුත් නීති විරෝධී දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

එහිදී එම පුද්ගලයින් වයස අවුරුදු 22ත් 28ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයන් සහ තහනම් දැල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලංකාවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.