නාවික හමුදාව විසින් නිශ්පාදනය කල තවත් මෙඩි මේට් (Medi mate) යන්ත්‍රයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ලබා දෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 27) කටයුතු කරන ලදි.

නව නිපැයුම් කරුවකු වන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medi mate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නිශ්පාදනය කිරීමට සමත් විය. එලෙස දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මූල්‍ය අනුග්‍රහයෙන් නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද ස්වයංක්‍රීය උපකරණයක් අද (2020 අප්‍රේල් 27) මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙලෙස නිශ්පාදනය කරන ලද එවැනිම උපකරණ දෙකක් (02) නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙතද ලබාදීමට නාවික හමුදාව මීට පෙර කටයුතු කරන ලදි.

මෙම උපකරණය මගින් වෛද්‍යවරුන්හට රෝගීන් අසලට නොගොස් ඔවුන්ගේ රෝග ලක්‍ෂණ විනිශ්චය කිරීමට සහ ඔවුන් සමඟ අදහස් හුවමාරුවත්, රෝගීන් හට අවශ්‍ය ‍‍ඖෂධ ලබා දීමටත්, ඔවුන්ගේ ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ඉටුකර දීමටත්, හැකියාව ඇත. ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් මගින් වෛද්‍ය සහ අනෙකුත් රෝහල් කාර්යමණ්ඩලය වෙත වෛරසය ආසාධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙම උපකරණය මගින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.