ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ ‍නාවික හමුදාව වෙත පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 29) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින අතර දිවයින පුරා බොහෝ නිරෝධායන මධ්‍යස්ථානයන්ද පවත්වාගෙන යනු ලබයි. කොරෝනා වෛරසය පිටු දැකීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන වැඩසටහන් සඳහා විවිධ ආයතනයන් වෙතින් ද්‍රව්‍යමය අනුග්‍රහයන් ලබාදීම සිදුකරනු ලබන අතර, ඒ අනුව අද (2020 අප්‍රේල් 28) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කර දංකොටුව පෝසිලේන් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ 50ක ප්‍රමාණයක් නාවික හමුදාව වෙත ලබා දීම සිදු කරන ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් එම උපකරණ භාර ගන්නා ලද අතර, මෙම අවස්ථාවට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කථාකාචාර්ය, ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර මහතා සහ දන්කොටුව පෝසිලේන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තවත් පිරිසක් සහභාගී වී සිටින ලදි. තවද, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් පැමිණ සිටි පිරිස වෙත කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍