නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහනක් කොටවෙහෙර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ 2020 මැයි 03 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.

කොටවෙහෙර මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමක් මත වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලද අතර, වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් එම ප්‍රදේශයේ පොදු ස්ථාන ආවරණය වන පරිදි ක්‍රමවත්ව විෂබීජහරණය සිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.