නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 මැයි මස 03 වන දින යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2020 මැයි 03 වන දින උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, අලියවලයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුරදී විදුලි නොවන ඩෙටනේටර් 10ක්, වෝටර්ජෙල් චාර්ජස් 01 ක් සහ ආරක්‍ෂිත වෙඩි නූල් අඩි 2.75ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය

අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 23ක් වන එම ප්‍රදේශයේම පදිංචි කරුවකු බවට හදුනාගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා, විදුලි නොවන ඩෙටනේටර්, වෝටර්ජෙල් චාර්ජර් සහ ආරක්‍ෂිත වෙඩි නූල් සම්බන්ධයෙන් වැඩි දුර විමර්ෂණ කටයුතු සඳහා පලෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.