කොරෝනා සුව වූ දෙවන (02) ‍නාවික පුද්ගලයාත් මුල්ලේරියාව රෝහලෙන් පිටව යයි.

2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේදී කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනාගත් පළමු නාවික හමුදා පුද්ගලයා සමීපව ඇසුරුකල වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයෙකු පීසීආර් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් - 19 ආසාධනය වී ඇති බව 2020 අප්‍රේල් මස 23 වන දින හදුනා ගෙන ඇත. පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම මුල්ලේරියාව රෝහල වෙත යොමු කරන ලද අතර, එම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අතරතුර වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක (03) ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා 2020 මැයි මස 04 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයා රෝහලින් පිටත්ව ගියද සෞඛ්‍ය උපදෙස් මත තවත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නාවික හමුදා පුද්ගලයාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධන වූ නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.