නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි 04 වන දින හම්බන්තොට නව රෝහල ආසන්න ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල පුද්ගලයින් දෙදෙනා (02) සහ කේරළගංජා ප්‍රමාණය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 32ත් අතර පසුවන බෙලිඅත්ත, සහ හකුරුවෙල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය කරගත් අතර, එම සැකකරුවන් සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සදහා හම්බන්තොට පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.