බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කල ලොරි රථ තුනක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව කින්නියා, ගංගෙයි පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් (03) සහ එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට 2020 මැයි 05 වන දින කටයුතු කරන ලදි.

රට තුළ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2020 මැයි 05 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ගංගෙයි පාලම අසල ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී වැලි ප්‍රවාහනය කරමින් සිටි සැක කටයුතු ලොරි රථ තුනක් පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී එම ලොරි රථ තුල ගමන් ගත් පුද්ගලයින් සතුව වලංගු වැලි ප්‍රවාහන බලපත්‍ර නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාල පුද්ගලයින් තිදෙනා (03) සහ ලොරි රථ තුන (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 ත් 43 ත් අතර වයසේ පසුවන වේල්ලගල සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට අනාවරණය කරගන්නා ලද අතර, එම සැකකරුවන් සහ ටිපර් රථ වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලිසිය වෙත භාර දෙන ලදි.