නීති විරෝධී දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 05 වන දින මන්නාරම මුලන්කාවිල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වීමට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරු මැද නාවික විධානයේ වෙරළාරක්‍ෂක මුර රාජකාරීන්හි නිරතව සිටි නාවිකයින් පිරිසක් විසින් මන්නාරම මුලන්කාවිල් වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර මසුන් ඇල්ලීම සඳහා මුහුදු යාමට සූදානම්ව සිටි සැක සහිත යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී දැලක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම යාත්‍රාවෙන් මසුන් ඇල්ලීමට මුහුදු යාමට සූදානම්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකුද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් අවුරුදු 30ත් 34ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර එම පුද්ගලයන්, අදාල ධීවර යාත්‍රාව සහ තහනම් දැල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලන්කාවිල් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.