Morison PLC ආයතනය වෙතින් නාවික හමුදාව වෙත ‍ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ තොගයක් හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ඉල්ලීමක් මත Morison PLC ආයතනය වෙතින් 2020 මැයි 06 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාව වෙත පරිත්‍යාග කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව 2020 මැයි මස 06 වන දින හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ඉල්ලීමක් මත Morison PLC ආයතනය විසින් විටමින් ‘සී’ වර්ගයේ ඖෂධ පෙති ලක්‍ෂයක (100000) කට අධික ප්‍රමාණයක් නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා වෙත ලබා දීම සිදු කරන ලදි.

තවද මෙම Morison PLC ආයතනය වෙතින් මීට පෙරද මෙවැනිම වූ විටමින් ‘සී’ වර්ගයේ ඖෂධ පෙති 50000ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා මහ රෝහලෙහි භාවිතා කිරීම සඳහා ලබා දීමට කටයුතු කරන ලද අතර, මෙම ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් Morison PLC ආයතනය වෙත නාවික හමුදාධිපති විසින් ප්‍රසංශා කරන ලදි.